Sunday, March 17, 2013


සබරගමුවේ ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ..

   2013 මාර්තු 14 වන දින මධ්‍යම රාත‍්‍රී 12.00 සිට ක‍්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා විසින් තීරණය කර ඇත. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 118.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් කටයුතු කළේ යැයි චෝදනාකරන බලධාරීන් පවසන්නේ මහා ශිෂ්‍ය සංගමය විසින් නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම මේ සඳහා බලපා ඇති බවයි.
  මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ ස්ව කැමැත්තෙනි.ඒ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලකා බලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.








      මෙම උද්ගතව ඇති තතත්වයට සැබෑ හේතුව වී ඇත්තේ සරසවිය තුළ ශිෂ්‍ය නිදහස අහුරා හමුදාමය පාලනයක් ස්ථාපිත කරගැනීම සඳහා වන ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයයි. එහි මූලික පියවරක් ලෙස 1978 අංක 16 දරන පනතේ විධිවිධාන පවා උල්ලංගණය කරමින් මර්දන නීති රීති සම්මත කර ගැනීමට පරිපාලනය කටයුතු කර ඇති අතර ඉතාමත් නින්දා සහගත අයුරින් සිසුන්ගේ භාෂණයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පවා අහෝසි කිරීමට එහිදි කටයුතු කර ඇත. ශිෂ්‍ය සංගම් සැසිවාර පැවැත්වීම, පොදු රුස්වීම් කැඳවීම, විශ්වවිද්‍යාල භූමිය තුළ පිරිස් වශයෙන් රුදී සිටීම ආදී සියලූම සාමූහික ඒකරාශීවීම් වලට හා ක‍්‍රියාකාරකම් වලට එරෙහිව මෙසේ නීති පනවා ඇත. මෙය විශ්වවිද්‍යාලයකට තරම් නොවන අතර සරසවි තුළ හමුදා පාලනයක් හා හමුදාමය ශික්ෂණයක් ඇති කිරීමට දරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උත්සාහයකි. ඒ අනුව සරසවියේ පමණක් නොව සමස්තයක් වශයෙන් සරසවිය නැමති සංකල්පයේම කීර්තිනාමට කැලළක් වන අයුරින් හැසිරී ඇත්තේ සිසුන් නොව ආණ්ඩුවේ උවමනාවට අනුව හැසිරෙන උපකුලපතිවරයා ඇතුළු රූකඩ පරිපාලයයි.


     ඒ අනුව අපි මෙම නින්දාසහගත ක‍්‍රියාව දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනු ලබන අතර අත්තනෝමතික ලෙස අහෝසිකළ ශිෂ්‍ය සංගම් වහාම නැවත ස්ථාපිත කර සිසු අයිතීන් තහවුරු කරන මෙන් අපි ආණ්ඩුවට බලකරසිටිමු.

1 comment:

  1. http://sabravoice.blogspot.com/2012/02/blog-post_24.html
    මේ ලිපිය මීට පෙර මෙහිම පලවී තිබු ලිපියක් .මේ ලිපිය නැවත කියවා බැලීම උචිත යැයි හැඟෙ ..

    ReplyDelete