Wednesday, January 2, 2013


දියතලාව නායකත්ව පුහුණුවේදී දඬුවම් ලැබූ වෛද්‍ය සිසුවියක් රෝගාතුර වෙලා

දෙමව්පියන්ගෙන් ආරක්ෂක ලේකම්ට පැමිණිල්ලක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යාවකට පුහුණුකරුවන් දැඩි ලෙස දඬුවම් පමුණුවා ඇති බවටත් ඉන්පසුව  ඇය රෝගතුර වී ඇති බවටත් එම ශිෂ්‍යාවගේ මවුපියන් ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර ඇත.
 
    නායකත්ව පුහුණු කඳවුරේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවටත් එහි දී තම කණ්ඩායමට දැඩි අපහසුතාවලට ලක් වීමට සිදු වන බවටත් එම ශිෂ්‍යාව මවුපියන්ට දැනුම්දීම නිසා  එම පුහුණුකරුවන් ඇයට එවැනි දඬුවමක් දී ඇති බව ද පැවසේ.

    මේ පිළිබඳව මවුපියන් කළ පැමිණිල්ල මත ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ මහතාගෙන් ද කරුණු විමසා තිබේ.

    නායකත්ව පුහුණු කඳවුරේ ඇති පහසුකම්  ප්‍රමාණවත් නොවන බවටත් මකුණන් සහිත මෙට්ටවල නිදා ගැනීමට සලස්වා ඇති බවටත් එම වෛද්‍ය ශිෂ්‍යාව ඇයගේ මවුපියන්ට දැනුම් දී ඇති අතර ඉන් පසුව මවුපියන් ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

   එම කඳවුරේ තිබෙන තත්ත්වය සම්බන්දයෙන් තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් පුහුණුකරුවන් ඇයට මෙම දඬුවම ලබා දී ඇති බවද ඉන් පසුව ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බවද ඇයගේ දෙමාපියෝ සඳහන් කරති.

   ඉකුත් 30 වැනිදා පස්වරුවේ තම දියණියට එම දඬුවම් දී තිබුණු අතර ඒ නිසා අසනීප තත්ත්වයෙන් පසු වන බවට දියණිය තමන්ට දුරකතනය ඔස්සේ දැනුම් දුන් බව ද ඔවුහු සඳහන් කරති. වෛද්‍ය පීඨවල තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700 දෙනෙක් පමණ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබති.

  (උපුට ගැනිම - ලංකදීප 01/01/2013)           
 

නව වසර

Add caption