Sunday, March 17, 2013


සබරගමුවේ ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ..

   2013 මාර්තු 14 වන දින මධ්‍යම රාත‍්‍රී 12.00 සිට ක‍්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා විසින් තීරණය කර ඇත. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 118.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් කටයුතු කළේ යැයි චෝදනාකරන බලධාරීන් පවසන්නේ මහා ශිෂ්‍ය සංගමය විසින් නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම මේ සඳහා බලපා ඇති බවයි.
  මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ ස්ව කැමැත්තෙනි.ඒ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලකා බලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.