Sunday, March 17, 2013


සබරගමුවේ ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ..

   2013 මාර්තු 14 වන දින මධ්‍යම රාත‍්‍රී 12.00 සිට ක‍්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා විසින් තීරණය කර ඇත. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 118.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් කටයුතු කළේ යැයි චෝදනාකරන බලධාරීන් පවසන්නේ මහා ශිෂ්‍ය සංගමය විසින් නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම මේ සඳහා බලපා ඇති බවයි.
  මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ ස්ව කැමැත්තෙනි.ඒ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලකා බලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.



Friday, February 1, 2013

සිසුන්ගේ දැඩි අප්‍රසාදය මද්‍යයේ අඩක් නිමාවූ භූ විඥාපන පීඨ සංකීර්ණය...... ! සැලසුමකට හෝ ප්‍රමිතියකට ඉදිකර නොමැති ක්‍රීඩා පිටිය....... ! අනාරක්ෂිත නේවාසිකාගාරය........ ! සිසු අයිතියට පත්කිරීමට සැරසේ


සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙම ලිපිය ලියන මොහොත වනවිටත් (2013/02/01) ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින භූ විඥාපන පීඨ සංකීර්ණය, පිරිමි නේවාසිකාගාරය සහ සැලසුමකට හෝ ප්‍රමිතියකට ඉදිකර නොමැති ක්‍රීඩා පිටිය සහ ක්‍රිඩාගාරය හෙට දින(2013/02/02) සිසු අයිතියට පත්කිරීමට පරිපාලනය කටයුතු යොදා ඇත.

ප්‍රමිතියෙන් තොරව ඉදිවන මෙම ඉදිකිරීම් පිළිබදව මාස කිහිපයක සිටම අදාල බලධාරීන් දැනුවත් කලද මේදක්වා ප්‍රතිචාර දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා යැවු ලිපියේ පිටපතක් පහත දක්වා ඇත.



Wednesday, January 2, 2013


දියතලාව නායකත්ව පුහුණුවේදී දඬුවම් ලැබූ වෛද්‍ය සිසුවියක් රෝගාතුර වෙලා

දෙමව්පියන්ගෙන් ආරක්ෂක ලේකම්ට පැමිණිල්ලක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යාවකට පුහුණුකරුවන් දැඩි ලෙස දඬුවම් පමුණුවා ඇති බවටත් ඉන්පසුව  ඇය රෝගතුර වී ඇති බවටත් එම ශිෂ්‍යාවගේ මවුපියන් ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර ඇත.
 
    නායකත්ව පුහුණු කඳවුරේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවටත් එහි දී තම කණ්ඩායමට දැඩි අපහසුතාවලට ලක් වීමට සිදු වන බවටත් එම ශිෂ්‍යාව මවුපියන්ට දැනුම්දීම නිසා  එම පුහුණුකරුවන් ඇයට එවැනි දඬුවමක් දී ඇති බව ද පැවසේ.

    මේ පිළිබඳව මවුපියන් කළ පැමිණිල්ල මත ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ මහතාගෙන් ද කරුණු විමසා තිබේ.

    නායකත්ව පුහුණු කඳවුරේ ඇති පහසුකම්  ප්‍රමාණවත් නොවන බවටත් මකුණන් සහිත මෙට්ටවල නිදා ගැනීමට සලස්වා ඇති බවටත් එම වෛද්‍ය ශිෂ්‍යාව ඇයගේ මවුපියන්ට දැනුම් දී ඇති අතර ඉන් පසුව මවුපියන් ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

   එම කඳවුරේ තිබෙන තත්ත්වය සම්බන්දයෙන් තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් පුහුණුකරුවන් ඇයට මෙම දඬුවම ලබා දී ඇති බවද ඉන් පසුව ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බවද ඇයගේ දෙමාපියෝ සඳහන් කරති.

   ඉකුත් 30 වැනිදා පස්වරුවේ තම දියණියට එම දඬුවම් දී තිබුණු අතර ඒ නිසා අසනීප තත්ත්වයෙන් පසු වන බවට දියණිය තමන්ට දුරකතනය ඔස්සේ දැනුම් දුන් බව ද ඔවුහු සඳහන් කරති. වෛද්‍ය පීඨවල තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700 දෙනෙක් පමණ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබති.

  (උපුට ගැනිම - ලංකදීප 01/01/2013)           
 

නව වසර

Add caption

Wednesday, November 28, 2012

අතීතයට පසු වදනක්...


විශ්වවිද්‍යාලයේ ඉන්න තියෙන කාලේ නොදැනුවත්වම ගෙවිලා ගිහින් final Exam එකත් අවා.මම පරණ Notes ටිකක් අවුස්සනකොට වටිනා දෙයක් හම්බුනා.මේක අපි 2009-08-19 දින UGC එක ඉස්සරහ කරපු උද්ඝෝෂණයට මුලික වෙච්ච ප්‍රශ්න 16.වසර තුනකට පසුව හැරිලා බලනකොට මේ ප්‍රශ
්න දහසයෙන් දෙකක් (9,10) හැරෙන්න සියලු දේ අපි දිනලා තියෙනවා.රුපියල් මිලියන 1000කට වැඩි වටිනාකමකින් යුත් භෞතික සම්පත් විශ්ව විද්‍යාලයට ගෙනවිල්ල තියෙනවා.ලංකාවේ හොදම විශ්වවිද්‍යාලය වෙන්න අපිට කිසිම බාධාවක් නෑ කියල මම හිතනවා. මිට වසර ගණනකට කලින් දැන් තියෙන සම්පත් වලින් 10%ක් වත් තිබුනේ නෑ . අපි පීඨ 5 විදියට ඉතාමත් ශක්තිමත් සහෝදරත්වයේ බැම්මක් මතින් කරපු අසීමිත කැප කිරීම් තුලින් අද ඔබ,මා දකින විශ්වවිද්‍යාලය බවට පත් කලා .මේ ජයග්‍රහණ විශ්වවිද්‍යාලයේ සියලු සහෝදරත්වයේ ජයග්‍රහනක් .





Sunday, October 21, 2012

ප්‍රවේශය වෙනුවට සමුගැනීම



පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.
හිනිඳුම සුනිල් සෙනෙවි
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

උපුටා ගැනීමකි.
දිවයින (2012-10-18)

Friday, August 3, 2012

අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රිඩා උළෙලේ සමස්ත ශුරතාවය සබරගමුවට

2012 . 07 . 28 සහ 29 යන දෙදින තුල පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රීඩා උළෙලේ, සබරගමුව විශ්වවිද්‍යාලයට සමස්ත ශුරතාවය දිනා දුන් මලල ක්‍රීඩා කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්. 

       

Thursday, August 2, 2012

Z ලකුණු අර්බුධය හා ශ්‍රී ලංකාව..



ශ්‍රී ලංකාව යනු තුන් වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි.රටක් සංවර්ධනය කරා යන ගමනේදී පළමු තැන අධ්‍යාපනයට හිමි විය යුතුය.එය අවිවාධිත  විශ්ව සත්‍යයකි.නව නිපැයුම්,නව සංකල්ප බිහිවනු ලබන්නේ මිනිසුන් අධ්‍යාපනය තුලින් ලබා ගන්න වූ සාර්ථකත්වය මගින් වන බැවින් අධ්‍යාපනය කෙරෙහි දක්වන අවධානය ඉතා ඉහල අගයක පැවතිය යුතුය.රටේ මේ වන විට අධ්‍යාපනය විශාල අර්බුධ රාශියක ගිලෙමින් පවතී.ඒවා අතර වර්තමානයේ උසස් පෙළ Z ලකුණු අර්බුධය,සරසවි ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය වන්නේය.මේ අතර ගුරු සංගම්ද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග තෝරමින් පවතී. 

Thursday, July 26, 2012

දින 388 කට පසු සබරගමුවේ මහා ශිෂ්‍ය සංගමය නැවත පිහිටුවයි

                1991.11.05 දින අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය කෙටිකාලයක් තුල ඉතා දියුණු තත්වයකට පත්වෙමින් පවතින අතර මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අතර ඉහලින්ම වැජඛෙන ළාබාල විශ්වවිද්‍යාල අතර පෙරමුණේ පවතී. අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයකින් ආරම්භ වී අද වන විට අති විශාල දියුණුවකට පත්වීම දක්වා විශ්වවිද්‍යාලයක් වශයෙන් අප ආ ගමනේ විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන හා අනධ්‍යයන යන සිවු පාර්ශවයන්ගේ කැපකිරීම අප හට අමතක කළ නොහැකි කරුණකි. ඒ අතුරින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප සබරගමු විශ්වවිද්‍යාලයේ නාමය ඉහලින් රැදවීමට කළ අනේකවිධ කැපකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලීය සියළු පාර්ශවයන්ට සිහි ගැන්විය යුතු නැතැයි අප සිතන්නෙමු. එමෙන්ම මෙම සියළු ක්‍රියාකාරකම් හි මඟ පෙන්වීම හා නිවැරදි නායකත්වය ලබාදීම සිදුකරනු ලැබුවේ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි පීඨ ශිෂ්‍ය සංගම් පහ ඇතුළු මහා ශිෂ්‍ය සංගමයයි. මෙම සියළු ආයතන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව සංස්කෘතික, සමාජයීය, අධ්‍යාපනික වශයෙන් හා විශ්වවිද්‍යාලීය උන්නතිය වෙනුවෙන් කැපවු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල පැවති එකම ව්‍යවස්ථාපිත ආයතනයද විය.

Tuesday, July 24, 2012

සබරගමුවේ අපි පරිසරය දෙස හෙලු බැල්ම..



සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා උදැසන 7 ට ආරම්භ වුන අතර. එම අවස්තාව කැමරා ඇසෙහි සටහන් වු  අයුරු පහතින් දැක් වේ 







Thursday, July 19, 2012

සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය




සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා උදැසන 7 ආරම්භ වේ.මේ සඳහා සබරගමු සහෝදරත්වයේ සහභාගිත්වය අපේක්ෂා කරමු..

Tuesday, July 17, 2012

භූ විඥාපන පීඨ ශිෂ්‍ය සංගම් කාර්යාලය නැවත සිසු අයිතියට.


2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත් මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.

  



භූ විඥාපන ශිෂ්‍ය සංගම් කාර්යාලය

සබරගමුවේ ශිෂ්‍ය සංගම් නැවත සිසුන් අතට..

2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ    සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත්    මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු  ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.
 

Wednesday, July 4, 2012

සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගනිමු..


සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.

සමනල වැව

යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්‍රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්‍රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්‍රයෙන්පැතිර යයි.යෝධ නිදිකුම්බා ශාකය
ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.



යෝධ නිදිකුම්බා බීජ









සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය


අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.


මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
  • ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
  • බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
  • රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
  • විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව
  •  

අපගේ අදහස නම් මෙම උවදුරෙන් සමනල වැව හා එහි ජල පෝෂක භුමිය බේරාගැනීමේ අයිතිය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වන අපහටද ඇති බවයි..

Thursday, June 28, 2012

සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී..


අත්තනෝමතික ලෙස පන්ති තහනම් කළ ශිෂ්‍යයන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව පීඨ ශිෂ්‍ය සංගම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කර අදට දින 455 ක් වන අතර එසේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන ලෙස බල කරමින් ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින (28 ) සාමකාමී පා ගමනක නිරත වූ අතර ලේඛකාධිකාරී කාර්යාලය අසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකද නිරත වූහ.එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන බවටත් එ සඳහා අදාල නිවේදනය ලබන සඳුදා දින නිකුත් කරන බවටත් විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන් ඉදිරියේදී පොරොන්දු වන ලදි.

මෙය ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන්ගේ මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.